Monday, January 11, 2016

සද්ධර්මරත්නාවලිය හා සන්නිවේදන ලක්ෂණ

සද්ධර්මරත්නාවලියේ භාවිත සංඥාර්ථවේදී ලක්ෂණ

                                        





     ශී‍්‍ර ලංකාවේ බෞද්ධ සාහිත්‍යයේ ආරම්භය සනිටුහන් වන්නේ මහින්දාගමනයත් සමගයි. ඒ සමග බිහි වූ සියලූම සාහිත්‍ය ග‍්‍රන්ථයන් බුදුදහම ඇසුරින් බිහි වූ බව පෙනෙන්නට තිබෙන කරුණකි. සියලූම කලා ශිල්ප, අධ්‍යාපනය, ආර්ථිකය සහ දේශපාලන කටයුතු පවා ගොඩ නැගුණි.
අනුරාධපුර යුගයෙන් ඇරඹි සිංහල බෞද්ධ සාහිත්‍ය ග‍්‍රන්ථ අතරින් ඉතිරිව ඇති ගද්‍ය සාහිත්‍ය කෘති අතළොස්සකි. අනුරාධපුර යුගයෙන් ඇරඹෙන සංස්කෘතික හා ජාතික පුනරුදය සමතැන්හි තැබීමට පවා සන්සන්දනය කිරීමට තරම්වත් සංස්කෘතික ප‍්‍රබෝධයක් ලෝකයේ ඇතිව නොමැති බව ලාංකේය සාහිත්‍ය විචාරකයන් පෙන්වා දෙයි. ඒ සියලූ සාධනීය ජයග‍්‍රහණයන් පාදක වූයේ බුදුදහමයි. පොළොන්නරු යුගයට සංක‍්‍රමණය වීමත් සමග සොළී ආක‍්‍රමණ හේතුවෙන් විනාශයට පත් වී ඇත. නැවත වරක් බෞද්ධ සංස්කෘතික ප‍්‍රබෝධයක් ගොඩනැගෙන්නේ දඹදෙණි යුගයේ ය. දඹදෙණි සාහිත්‍ය වංශයෙහි සාහිත්‍ය කෘති රාශියක් බිහිවිය. සිංහල සාහිත්‍ය වංශයෙහි විවිධත්වයෙන් යුතු සාහිත්‍ය කෘති සම්භාරයක් බිහිවූයේ් දඹදෙණි යුගයේ දී ය. සිංහල සාහිත්‍ය වංශයෙහි විවිධත්වයෙන් යුතු සාහිත්‍ය කෘති සම්භාරයක් බිහිවූයේ දඹදෙණි යුගයේ දී ය.
දඹදෙණි යුගයේ රචනා කරන ලද සාහිත්‍ය කෘති අතරින් පූජාවලිය, සද්ධර්මරත්නාවලිය. වැනි සාහිත්‍ය ග‍්‍රන්ථයන් ප‍්‍රමුඛත්වයක් ගනී. කවි සිළුමිණ නම් වූ මහා කාව්‍ය ද සිදත් සගරාව වැනි සිංහල ව්‍යාකරණ ග‍්‍රන්ථ ද එළු සඳැස් ලකුණ වැනි සිංහල පාලි මුසු වූ ග‍්‍රන්ථයන් ද, ඡුන්දස් ග‍්‍රන්ථ ද, ධම්මපද සන්නස, රූප සිද්ධි සන්නස වැනි සන්නස් ග‍්‍රන්ථ ද සාහිත්‍යයට එක් වීම ද , පූජාවලිය වැනි වෙද පොත් නිර්මාණය වීම ද බොදු සංස්කෘතික පුනරුදය නිසාම බිහි වන්ට ඇතැයි නිගමනය කළ හැකි ය. 
දඹදෙණි යුගයේ දී ධර්මසේන හිමියන් විසින් රචිත සද්ධර්මරත්නාවලිය මෙරට පහළ වූ සුවිශිෂ්ඨ බෞද්ධ සාහිත්‍ය ග‍්‍රන්ථයක් වශයෙන් හඳුන්වා දිය හැකි ය. ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය රචනා කිරීමට ධම්මපදයේ අටුවාවන්ට විවරණ සැපයීමට රචිත සද්ධර්මරත්නාවලිය රචනා කිරීමට ධම්පදයේ අටුවාවන්ට විවරණ සැපයීමට රචිත පාලි ධම්මපදට්ඨ කතාව ගුරූපදේශ කරගත් මුත් පාලි ක‍්‍රම අතහැර දෙසට බසට, එක ලෙස මැනවින් ගෝචර වන ආකාරයෙන් සද්ධර්ම රත්නාවලියේ කතාවස්තු පෙළ තබා ඇත.  ඒ අනුව හරකබාන සරිකරගනිමින් අඹු දරුවන් පෝෂණය කරමින් ලෞකික ජීවිතයේ ආශාවන් පොඳි බැඳගත් ගැමියනට නිර්වාණ අවබෝධය පසක් කරගනු වස් පින්දහම් රැුස් කිරීමේ වැදගත්කම සද්ධර්මරත්නාවලියේ කතාවස්තු මගින් කියාපෑමට ඉඩහසර වෙන් කර ඇත. සද්ධර්මරත්නාවලිය රචනා කිරීමට මූලික වූ පරමාර්ථයන් උන්වහන්සේ මෙසේ දක්වා තිබේ.
”සද්ධම්මඨති මිච්ඡුන්තෝ
ධම්මසේන යතිස්සරෝ
ආකාසි පවරං ඒතං
සද්ධර්ම රතනංවලිං”

               සද්ධර්මයාගේ පැවැත්ම උදෙසා, ධර්සේන යතිවරයාණන් විසින් සද්ධර්මරත්නාවලිය රචනා කළ බව මින් විද්‍යමාන කරවයි. සිංහල සාහිත්‍ය නැමති රත්නාකරයෙහි අතිශය දීප්තියෙන් බබළන මාණික්‍යයක් වැනි වූ සද්ධර්මරත්නාවලිය සිංහල සාහිත්‍යයට තාරුකා වැනි ග‍්‍රන්ථ රැුසක් සම්පාදනය විය.
නිවන්මග අවබෝධ කරගැනීමට පින්දම් රැුස්කරන දනන්ගේ හිතසුව පිණිස නිවන් මාර්ගය කරා ගමන් කිරීමට අත්වැලක් සැපයීමට සද්ධර්මරත්නාවලියෙන් උත්සාහ දරා ඇත. 
සද්+ධර්ම+රත්න+ආවලිය

                     සද් යනු ”යහපත්” යන්නයි. ධර්මය යනු ”බුදුරජුන් දේශනා කළ දේශනාවන් ”ය. රත්න යනු ”මැණික්” යන්නයි. ආවලිය යනු ”වැල” යන්නයි. ඒ අනුව සද්ධර්මරත්නාවලිය යනු සදහම් නැමති මිණිකැට අමුණන ලද මාලය යන්නයි. සද්ධර්මරත්නාවලිය රචනා කිරීමෙන් උන් වහන්සේ බලාපොරොත්තු වූයේ හුදී ජනයාගේ පහන් හැගීම් ජනිත කිරීමයි.
”යම් කෙනෙකුන් නුවණ මදවත් කුසලඡුන්දය ඇතිව බණදැන පින්කම් හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ සත්පුරුෂන්ට වැඩ සඳහා සද්ධර්මරත්නාවලී නම් ප‍්‍රබන්ධය රචනා කරම්හ ”
සද්ධර්මරත්නාවලිය රචනා රචනා කිරීමේ දී උන්වහන්සේගේ එකම පරමාර්ථය බවට නිවන් අවබෝධ පිිණිස එය තෝතැන්නක් බවට පත් කරවීමයි. කුසල් වැඞීමට සද්ධර්මරත්නාවලිය හේතු වන බව උන්වහන්සේ දක්වා ඇත. ලෞකික දියුණුවෙන් ඔබ්බට ලෝකෝත්තර සුබසිද්ධිය උදාකරවනු පිණිස සද්ධර්මරත්නාවලිය හේතු පාදක වෙයි.
               ” නිවන්මගට යන ගමනේදී කුසල් මද සැදැහැතියනට පින්පෙත් රැුස්කර ගනුවත් එසේ වූ සත්පුරුෂයන් සඳහා සද්ධර්මරත්නාවලි නම් ප‍්‍රබන්ධය කරම්හ. ”
යනුවෙන් සද්ධර්මරත්නාවලිය නිවන් මාර්ගය සපල කර ගැනීමට පොදු ජනයාට අත්වැලක් සපයනු වස් රචනා වූ බෞද්ධ ධර්ම අත්පොත ලෙස සඳහන් කර තිබේ. භවාන්තර ඥානයෙන් පෝෂිත නොවුණු සාමාන්‍ය මහජනයාගේ අවශ්‍යතාවන් සපුරාලනු පිණිස නැවතවරක් පාලි කතාපුවත් සිංහලෙන් කීමට අවශ්‍ය විය. එම නිසාම ජනතාවට රසවිඳීමට හැකි ග‍්‍රන්ථයක් ලෙස රචනා කිරීම අපේක්ෂා කළ බව කතුවර ධර්මසේන හිමියන් සඳහන් කර තිබුණි. ආශි‍්‍රත ග‍්‍රන්ථ සද්ධරත්නාවලිය රචනා කළ ධර්මසේන හිමියෝ ප‍්‍රධාන වශයෙන් ධම්මපද කතාව ද අප‍්‍රධාන වශයෙන් මිලිඳු නාගසේන කතා පුවත් ද, මිලින්ද පඥ්ඥහ, සුත්තනිපාත, අට්ඨක කතා ආදිය ආශ‍්‍රය කොටගෙන රචනා කිරීම. පාළි ක‍්‍රම අතහැර අර්ථ පමණක් ගෙන අප කළා වූ මේ ප‍්‍රබන්ධයෙහි ක‍්‍රමවල අඩුවැඩිතැන් ඇතත් එය නොසකා......කුසල් මාවතකට බැස නිවන්පුරයට සුවයෙන් යායුතු...
                   ග‍්‍රන්ථනාමයේ කතාවස්තු සියල්ලක්ම රත්න හෙවත් මැණික් ලෙසට කතුවරයා සලකා තිබීම...
අර්ථවිග‍්‍රහය ග‍්‍රන්ථය තනන ලද්දේ රන්හුයක් කොට ගෙනය. මේ ග‍්‍රන්ථයෙහි කතාකරුවන් ඇමිණූ නිසා සද්ධර්මරත්නාවලිය බවට පත්වීම.
ධර්මසේන හිමියන් මැති ඇමතිවරුන්ගේ වන්දිභටයෙකු නොවූ බවත් සරල චාම් ජීවිතයක් ගතකරමින් ගැමියන් සමග දුකසැප බෙදාගනිමින් ජීවත් වූූ කරුණාවෙන් බරිත හදවතක් ඇති කෙනෙකු වූ බවත් කිව හැකි ය. 
මාර්ටින් වික‍්‍රමසිංහ මහතා ධර්මසේන හිමියන් ගැන මෙසේ පවසා ඇත. 

             ”සද්ධර්මරත්නාවලිය ධර්මසේන ස්ථවිරයෝ ගැමියන් අතරට මුල්බැස ඔවුන් හා එක්ව දොඩමින් සිනාසෙමින් දිවිපෙවෙත හිසින්ගත් බරක් මෙන් නොව හිස සරසනාවක් මෙන් සලකමින් ජීවත් වූ ප‍්‍රියවාදියෙකි.”

                      සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේ දී සංඥා සංකේත ඇසුරෙන් කතාවස්තු ඉදිරිපත් කර ඇත. ඒ අනුව භාෂාව භාවිතා කළ ආකාරය ,උපමාරූපක භාවිතා කළ ආකාරය,ආරම්භයේ දී අන්තර්ගතය පිළිබඳ ඉගියක් ලබාදීම,උපහාසය හා හාස්‍ය මුසුකර ගැනීම, පිරුළු භාවිතා කිරීම, නාට්‍යොත්චිත අවස්ථා බහුල වශයෙන් භාවිතා කිරීම, සෑම කතාවස්තුවකම අවසානයේ ධර්මෝපදේශයක් ලබාදීම, ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ ඇති සුවිශේෂත්වයයි. ඒ අනුව සද්ධර්මරත්නාවලිය පුරාම සංඥාර්ථවේදී ලක්ෂණ මැනවින් ඉස්මතු වෙයි. සංඥාර්ථවේදය යනුවෙන් හඳුන්වන්නේ සංඥා සංකේත භාවිතා කිරීමයි. රූපමය සංඥා හා භාෂාමය සංඥා යන සංඥා වර්ග දෙකක් පැවතිය ද සද්ධර්මරත්නාවලිය මගින් භාෂාව භාවිතා කරමින් යතිවර ධර්මසේන හිමි අපූරු රසයක් එක් කිරීමට සමත් වී ඇත. සංඥාර්ථවේදය ස්වභාවිත සංඥා හා අර්ථ සංඥා ඔස්සේ පුරාතන යුගයේ හා මධ්‍යයතන යුගයේ පැතිරී ගිය එකකි. සද්ධර්මරත්නාවලියේ සංඥාර්ථවේදී ලක්ෂණ සෑම කතා වස්තුවකම පාහේ දැකගත හැකිය. භාෂාව හා සංකේත භාවිතා කරමින් කතාවස්තු වල සංඥාර්ථවේදී ලක්ෂණ ඉස්මතු කිරීමට උත්සාහ දරා ඇත. 
දඹදෙණි යුගයේ ජීවත් වූ ගැමි ජනතාවගේ සිතුම් පැතුම් මැනවින් අවබෝධ කරගත් ධර්මසේන හිමි ගැමි සමාජයට උචිත අන්දමින් සද්ධර්මරත්නාවලියේ කතාවස්තු පෙළතබා ඇත. සංඥාර්ථ හඳුනාගැනීමේ දී ඒ ඒ සමාජවල චින්තන රටාවන් සමාජීය රටාවන් බලපායි. වචන නැමති සාධකය  ඒ සඳහා හේතු වී ඇත. 
සමකාලීන ගැමිජන විඥානයට සමීප වන ආකාරයට සද්ධර්මරත්නාවලියේ කතාවස්තු පෙළතබා ඇත.
වර්තමාන කතාවට අතීත කතාව සම්බන්ධ කරමින් ධර්මසේන හිමියන් කතාවස්තු ගැමිජනතාවට මැනවින් අවබෝධ වන ආකාරයෙන් රචනා කොට ඇත.
කතා ආකෘතිය
සද්ධර්මරත්නාවලියේ කතා ආකෘතිය වර්මාන කතාව මෙන්ම අතීත කතාව ද උපයෝගී කොටගෙන තිබේ. බෞද්ධ කතාවන් සේවනය කරන ලද නූගත් ගැමි ජනතාවට සද්ධර්මරත්නාවලියේ කතාවස්තු පහසුවෙන් අවබෝධ කරදෙනු වස් අතීත කතාව හා වර්තමාන කතාව මැනවින් සුසංයෝජනය කරමින් කතාව රචනා කර ඇත. උගත් ගැමි ජනතාවට මෙන්ම නූගත් ජනයාට එක ලෙස රසවඳීමට සමත් අයුරින් ගැමිජනතාවට සමීප වන ක‍්‍රමවේදයන් කතාවස්තු රචනා කිරීමේ දී උපයෝගි කරගෙන ඇත. පූතිගත්තතිස්ස තෙරුණ්ගේ කතා වස්තුව රචනා කිරීමේ දී වර්තමාන කතාව අතීත කතාවට සම්බන්ධ කළේ මේ ආකාරයෙනි.
උදා ඃ ”සැවැත් නුවර එක් වැසි කුලදරුවාණ කෙනෙක් බුදුන් වදාරණ බණ අසා පැවිදිව.......
යනුවෙන් වර්තමාන කතාව රචනා කරන විට එය පාඨක ජනතාවට අවබෝධ කරදීමට අතීත කතාවකුත් ගෙන හැර දක්වයි. එකළ ලාංකීය ජනසමාජය උගත් පාඨක ජන සමාජයක් නොව නූගත් ශ‍්‍රාවක ජන සමාජයකි. ඒ අනුව ශ‍්‍රාවක ජන සමාජයට කතාව මැනවින් අවබෝධ කරවීමට බුදුන් ජීවමානව වැඩවාසය කළ සමයේ සිදු වූ අතීත කතාව ගෙනහැර දක්වයි. කතුවරයන් වැඩවාසය කළ එම ජනසමාජය තුළ පමණක් නොව බුදුන් දවස පවා මෙවැනි පෘථග්ජන මිනිසුන් වාසය කළ බව අවබෝධ කර දීමට උන්වහන්සේ උත්සාහ දරා ඇත. පූතිගත්තතිස්ස තෙරුන් බුදුන් දවස ඉපදීමට පෙර කළ පින් මහිමයක් හේතු වූ නමුදු පෙර කළ අකුසල කි‍්‍රයාවක් නිසාවෙන් මෙම ආත්මයේ එවැනි දරුණු කුෂ්ඨරෝගයකින් පීිඩා විඳීමට සිදු වී ඇති බව ධර්මසේන හිමියෝ පෙන්වා දී තිබුණි. මේ ආත්මයේ දී කුසල් වඩවා ගත යුතුය යන්න නූගත් ශ‍්‍රාවක ගැමියනට අවබෝධ කරවීමට උන්වහන්සේ අපේක්ෂා කර තිබුණි.
”කසුප් බුදුන් සමයෙහි පක්ෂීන් බදා විකුට ජීවත්වන වැදි කුලයක ඉපිද.......
යනුවෙන් අතීත කතාවක ගෙනහැර දක්වයි. සෑම වස්තුවකම අතීත කතාව හා වර්තමාන කතාව මැනවින් ගළපා තිබේ.

                සෑම කතාවස්තුවක් අවසානයේ කිසියම් ධර්මෝපදේශයක් ලබාදීමට සද්ධර්මරන්නාවලියෙන් සිදු වී ඇත. ඒ අනුව කතාව නිමිත්ත කරගත් දෙය කතාව පටන්ගන්නා මොහොතේ දැක්වීම උන්වහන්සේගේ කතා කලාවේ සුවිශේෂත්වයකි. කතාවස්තුව වෙත ශ‍්‍රාවක ජනයා රඳවා තබා ගැනීම කෙරෙහි මෙම කාරණය බොහෝ සෙයින් දායක වෙයි. ආරම්භයේ අන්තර්ගතය පිළිබඳව ඉගියක් ලබාදීමෙන් සමස්ත කතාව ම රසවිඳීමට ඒකාත්මික මනසක් ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
උදා ඃ ”තවද කවරේටත් නුවණම පිහිටවනු නියාව අගවන්නට කිසාගෝතමීන්දෑගේ වස්තුව දක්වමු.”
යනුවෙන් කතාව ආරම්භයේ දක්වා තිබුණි. කිසාගෝතමීගේ නුවණ ලෞකික ලෝකෝත්තර දියුණුව විෂයෙහි කොතරම් වැදගත් වූයේ ද යන්න කතාව ආරම්භය තුළින් ම එහි අන්තර්ගත වන දෙය ඉගියක් ලබා දී තිබුණි.
කුණ්ඩලකේසියගේ කතාවස්තුව මගින් ඇයගේ ප‍්‍රයෝජනවත් නොවන කි‍්‍රයාකලාපයන් නිසාවෙන් අවසානයේ දී ඇයට මුහුණදීමට සිදු වූ ඉරණම කොතරම් ශෝචනීය දෙයක් ද යන්න හැගවීමට කතාව ආරම්භයේ දී අපූරු ඉගියක් ලබා දී තිබුණි. ලෞකික සැප සම්පත් කොපමණ භුක්ති විඳියද, අනුවණ කි‍්‍රයාකලාපය නිසා මුළු ජීවිතයම විඳවීමක් බවට පත් වූ ආකාරය මැනවින් අවබෝධ කරවීමට සමත් වී ඇත.
උදා ඃ ”තවද නිෂ්ප‍්‍රයෝජන කතාවෙන් ප‍්‍රයෝජන ලවයකුත් නැති නියාව හගවන්ට කුණ්ඩලකේසියගේ වස්තුව දක්වමු......යනුවෙන් කතාව ආරම්භයට නිමිත්ත කොටගෙන තිබුණි.”
කතාව පිළිබඳ කිසියම් කුතුහලයක් ජනිත කරවීම නිසා මුළු කතා වස්තුවම කෙරෙහි රුචිකත්වයක් දක්වා එය ශ‍්‍රවණය කිරීමට ගැමි ජනයා උනන්දු වෙයි. ඒ නිසා කතාව කෙරේ ජනතාවට විශ්වාසයක් ඇති කිරීමටත් මෙමගින් උත්සාහ දරා ඇත.
ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලියේ කතා වස්තු  රචනි කිරීමේ දී සෑම කතා වස්තුවකම අවසානයේ ධර්මෝපදේශයක් ගෙනහැර දක්වා ඇත. එය උගත් පාඨක සමාජයට වඩා නූගත් ශ‍්‍රාවක ජන සමාජ සමාජයක ජීවත් වන ජනතාවට මෙලොව පරලොව දියුණුව සලසා දෙනුවස් මහගු පිටුබලයක් වන බැවිනි. කිසාගොත්මීන්දෑගේ කතා වස්තුවේ කිසාගෝතමියගේ ස්වකීය දරුවා මියගිය ශෝකයෙන් කල්ගෙවා අවසන නිවන් අවබෝධ කර ගැනීමට ඇයට වාසනා මහිමය උදාවිය. ඒ බව
”එහෙයින් සත්පුරුෂයන් විසින් ශරීර පුෂ්ටිය නැතත් චිත්ත පුෂ්ටිය ඇතිව.....ගුණ පුෂ්ටිය එවාගත යුතුය.”

ධර්මසේන හිිමියන්ගේ කතා කලාවේ සුවිශේෂත්වය වන්නේ ගැමිජන සමාජ විඥානය අවබෝධ කර ගනිමින් උන්වහන්සේ කතා කලාවේ නිරතවීමයි. ගැමිජනතාව අතර උපත ලබමින් ගැමිජනතාව අතර ජීවත් වෙමින් ගැමිජන හදවත ගැගෙන රාවය පවා ප‍්‍රතිරාවය කර ගැනීමේ නැණ නුවණක් උන්වහන්සේ සතු විය. නිර්වාණ අවබෝධය පිණිස ගමන් ගන්නා මිනිසුන්ට නවාතැන්පලක් ලෙසින් ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය රචනා කර ඇත.
”එහෙයින් නුවණැත්තවුන් විසින් ලැදි සටන් ආදි වූ සෙසු සටන් හැර විවසුන් නැමති අතින් මාර්ගඥාන නැමති බඩුගෙන ......”
යනුවෙන් කතාවස්තුව අවසානයේ ධර්මෝපදේශයක් ලබාදීමට සමත් වී ඇත. නුවණැති ජනතාව තවකෙකු සමග සටනට එන්නේ ආයුධ වලින් නොවේ. මාර්ගඥාන නැමති කඩුගෙන ය.එය මෙලොව පරලොව සුබසිද්ධිය පිණිස හේතු වන කාරණයකි.
ධර්මසේන හිමියන් විසින් රචනා කරන ලද සද්ධර්මරත්නාවලිය උන්වහන්සේ ජීවත් වූ දඹදෙණි සමාජයේ ජීවත් වූ නූගත් ශ‍්‍රාවක ජන සමාජයට නිවන් මග අවබෝධ කරදීමේ පරම අපෙක්ෂාවෙන් යුක්තව රචනා වූවකි. සද්ධර්මරත්නාවලියේ එන කතාංග තුළ රස නිෂ්පත්තියට ප‍්‍රමුඛතාවක් ලබාදී ඇත. ඒ අනුව උපහාසය හා හාස්‍ය රස කතා වස්තුව රචනා කිරීමේ දී යොදා ගත්තේ ඒ මගින් පාඨක ශ‍්‍රාවක ජනයා කතා වස්තුව කෙරෙහි බැඳ තබා ගැනීමටයි. ථුල්ලතිස්ස තෙරුණ්වහන්සේගේ කතා වස්තුවේ උපයෝගී කරගත් හාස්‍ය රස මේ ආකාරයෙන් ඉදිරිපත් කළ හැකිය.
”එකකුගේ එකකුට නායක කමක් නැතත් නම් පමණකුත් පෙරාතු හෙයින් පූර්ණ කාශ්‍යප කරා ගොසින් පාපයෙහි ලැජ්ජාවක් නැති නිසා මෙලෙසින් දනුවක් දක්වන්නාක් මෙන් පිළි නොහැඳ හුන්නහු දැක නුවණැති නියාව දැන නොවැඳ ගුණ නැතත් නුවණ විඩා නිවූ දෙයට නිසිකොට කතාකොට ලත් නම් මින් ප‍්‍රයෝජන නම් දවසෙහි හා කුඩු හැර සාල් පමණක් සේ අපට ප‍්‍රයෝජන නම් සලකා කන්නට එන බල්ලන්ට අසුරු ගසා නාද කරන්නා සේ පාද සාමිචි ලෙස කතාකොට ලා එකත්පස්ව හුන්හ.

”පිළිවෙතින් සීන් වුවත් මසින් ලෙයින් මත්ව ඉසත් බඩත් මහත් සෙයින් ථුල්ලතිස්ස තෙරුණ් වහන්සේ යැයි ප‍්‍රසිද්ධ වූ මට සිළුටු වූ සීන් සිවුරු වැළඳපියා ආඪ්‍ය තරම් හගවනු නිසා විහාර මධ්‍යයෙහි බොහෝ තැන් රැුස්වන හෙයින් උස්ව තිබෙ හස්නකට නැගපියා බොහෝ සේ හිඳිනා සේක.”
කතාවස්තුව රචනා කිරීමේ දී සියුම් උපහාසාත්මක හාස්‍ය මුසු භාෂාවක් භාවිත කළ ද ඒ තුළින් උපහාසයට එහා ගිය ගැඹුරු ජීවන යථෘර්ථයක් අවබෝධ කරදීමට උත්සාහ දරා තිබේ.
”වස්තු හානියම සලකා ලජ්ජා සම්පන්න කෙනෙකුන් අවස්ථානයෙහි ඇති ලෙඩක්  අනුන්ට කියන්න මැලිවන්නා සේ මැලිව කිසිකෙනෙකුටත් නොකියති.”
මෙවැනි චිරිත  ඕනෑතරම් සමාජය තුළ සිටී. ඒ නිසා උන්වහන්සේ කියා සිටියේ ලෙඩක් දුකක් ඇති වූ කල්හි එයට ප‍්‍රතිකාර නොකර මසුරුකමින් දිවිගෙවන මිනිසුන් සිටිය ද ඔවුන් මරණාසන්න මොහොතේ පවතින ධනය වන්නේ තමන් විසින් එක්රැුස් කළාවූ කුසසල් අකුසල් දෙක පමණක් බව උන්වහන්සේ කතාවසතුව මගින් ව්‍යංගයෙන් යුතුව ගෙනහැර දක්වයි.
සද්ධර්මරත්නාවලිකාර ධර්මසේන හිමියෝ කතා වස්තුුව රචනා කිරීමේ දී බුදුන් වහන්සේගේ මහාකරුණා මහා ප‍්‍රඥා බලය, අසමසම වූ ගුණාංගයන් පිළිබඳව අවබෝධයක් ලබාදීමට උන්වහන්සේට ම ආවේනික භාෂා විලාශයක් භාවිතා කර ඇත. බුදුන්ගේ ගුණය වචනයෙන් කියා විස්තර කළ නොහැක. මහා කරුණා වූ ප‍්‍රඥා සම්පන්න වූ බුදුරදුන්ගේ අනුත්තර පුරුසාදි ගුණයන් පිළිබඳව කතා වස්තුව අසන පාඨක ශ‍්‍රාවක ජනයාට බුද්ධාලම්බවන පී‍්‍රතිය ඇති කිරීම ඊ උචිත පරිදි භාෂාව භාවිතා කර තිබුණි.
උදා ඃ ”මහපොළොව සේ තුන්ලොවට පිහිට වූ ගුණ ඇති මහසමුදුර සේ ගැඹුරු වූ ගුණ ඇති ආකාසය සේ අනන්ත ගුණ ඇති මහමෙර සේ සාර වූ ගුණ ඇති, ඉරමඩල සේ තේජස් වූ ගුණ ඇති , සඳමඩල සේ සෞම්‍ය ගුණ ඇති, තිලෝගුරු බුදුපියාණන් වහන්සේ.......”
ඒ අනුුව බුදුන් වහන්සේගේ අසමසම ගුණය නිර්මාණකරුවෙකුට වචන වලින් කිව නොහැක. ශ‍්‍රද්ධාවන්ත බොදු ජනයාට බුදුන් වහන්සේ කෙරෙහි වන ශ‍්‍රද්ධාව ද අසමාන කරුණා ගුණය පෙන්නුම් කිරීමට ඊටම උචිත අලංකාරවත් භාෂා භාවිතයක් සිදුකර ඇත.
එමෙන් ම සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේ දී ාඨක ශ‍්‍රාවක ජනතාවට චිත්තරූප ජනනය වන ආකාරයට කතාවස්තු පෙළතබා ඇත. ගැමිජන සමාජයෙන් ගත් උපමා පිරුළු රූපක ආදිය ඒ සඳහා යොදා ගෙන තිබුණි. කෘෂිකාර්මික ජීවිතය සමග දිවිගෙවන ජනයාට දෛනික ජීවිතයේ නෙතගැටෙන වස්තූන් පෙළක් උපමාකරගෙන තිබුණි ඒ මගින් කතාව කෙරෙහි පාඨක ශ‍්‍රාවක ජනතාව බැඳ ගැනීමට සමත වී ඇත.
පුතිගත්තතිස්ස තෙරුණ් වහන්සේගේ කතා වස්තුවෙහි තිස්ස තෙරුණ්ට හටගත් රෝගී තත්ත්වය විස්තර කිරීමට ස්වභාවික පරිසරයේ නෙත ගැටෙන වස්තූන් පෙළක් යොදාගෙන තිබුණි. ඒ අනුවඋන්වහන්සේ කුඩා රෝගයකින් හටගෙන දරුණු වූ රෝගයක් දක්වා පැතිර ගිය ආකාරය 
”හබ සා විතර සීන් කස් ඇතිවලා, පසුව මුංසාව,පසුව මෑ සාව පසුව ඇඹුල සාව,පසුව බෙල් සාවලා ගොසින් පැලී සිල් වන්නට විය.....”
යනුවෙනි. ඒ අනුව අබ ඇටයක් තරමින් ඇති වූ රෝගය ක‍්‍රමයෙන් වර්ධනය වූ ආකාරය ගැමි ජනයාට දෛනික ජීවිතයේ නෙත දකින වස්තූන් අනුසාරයෙන් ඉදිරිපත් කර ඇත. තිස්ස තෙරුණ් රෝගාතුර වූ අවස්ථාවේ උන්වහන්සේට දැනුණ වේදනාව කොතරම් ද යත් කතා වස්තුව රස විඳින පාඨක ශ‍්‍රාවක ජනතාවට එහි වේදනාව ඇති කරවීමට සමත් විය.
”සියල් සිරුර වේයන් කෑ පරඬැල් පතක් මෙන් සිදුරු විසිදුරු විය.......හඳනා පොරෝනා සිවුරු ලෙයින් වැකකි පුස්කා ගිය පැණි කැවුමක් සේ විය........”
කතා වස්තුව රචනා කිරීමේ දී ගැමිජනයාට සමීප වස්තු උපමා රූපක භාවිතා කර තිබුණි. වේයන් කෑ පරඬැල් පතක ස්වභාවය තිස්ස තෙරුණ්ගේ සිරුරෙන් දිස්වන්නේ ය යන කීමෙන් රෝගී තත්ත්වයේ බරපතලකම මැනවින් අවබෝධ වෙයි. පැණි කැවුම ගැමි සමාජයේ ඉතා රසවත් වූ රසකැවිලි විශේෂයකි. නමුත් එය කල් ඉකුත්ව පුස්කා ගිය විට ඇති වන අප‍්‍රසන්න තත්ත්වය ඉතාමත් අධික ය. මිනිස් ශරීරය එබඳුය. කොතරම් භාහිරින් පුහු ආටෝපයක් පෙන්නුම් කළ ද රෝගී වී ගිය කළ කුණු ශරීරය අප‍්‍රසන්නය යන්න අවබෝධ කිරීමට සද්ධර්මරත්නාවලියේ කතා තුළින් සමත් වී ඇත.
කතා වස්තු රචනා කිරීමේ දී ධර්මසේන හිමියෝ සංවාදාත්මක භාෂා භාවිතයක් සිදු කර ඇත. ඒ අනුව පොදු ජන සමාජයට ව්‍යවහාරයට ලක්වන භාෂාවක් භාවතා කළ නිසා කතාවස්තුව ගැමිජනයා අතර ප‍්‍රචලිත විය.
උදා ඃ නන්ද වස්තුව
”ඒ වන්නා මෙතෙක් තැන් නිකමුත් නොව බර උසුලාගෙන යව. ගිය තැන ගමන් ඇවිදී ගිය පය මිරිකන කෙනෙක් ඇත් ද?නැද්ද?
”ස්තී‍්‍රන් දුටු කළ ”අත යහපත”නිය යහපත”සිගු යහපත”හිණ වඩකර යහපත””ඇස්කන් යහපත”
චරිත නිරූපණය
                සද්ධර්මරත්නාවලියේදී චරිත නිරූපණය කිරීමේ දී උන්වහන්සේ එම චරිතයේ ස්වභාවය අපුර්ව ආකාරයෙන් ඉදිරිපත් කොට ඇත. පාළි කතා වියළි ස්වභාවයක් උසුලන විට ධර්මසේන හිමියෝ එයට පණපොවා සජීවි ආකාරයෙන් ඉදිරිපත් කරති. මට්ටකුණ්ඩලී කතා වස්තුවේ මච්ඡුරිය කෝසියගේ ලෝභකම ගෙනහැර පෑවේ ගැමි ජනයාට එය වඩාත් අවබෝධ වන අන්දමිනි. සෑම ගමකම එවැනි මසුරු මිනිස්සු ජීවත් වෙති. නමුත් ඔවුන්ට මරණාසන්න මොහොතේ රැුගෙන යාමට කිසිවක් අත නොවෙති. එනම් ඔවුන් කළ පින්පවු පමණක් ඉතිරිවෙයි.
”සැවැත් නුවර අදින්න පුබ්බක නම් බමුණාන කෙනෙක් වසති. ඌ තුමූ සුධාභෝජන ජාතකයෙහි කෙළ ගණන් වස්තුව ඇති පියාණන් සක් දෙවිඳුගේ උපදෙසින් දන් දීමෙහි අදහස් ඇතිවන තෙක් කිසිකෙනකුට කිසිවක් දීලන්නට මැලියා සේ, ඉල්ලීස සිටාණන් ඉල්ලීස සිටුගත් වෙස් ගත් සක් දෙවිඳුහු සම්පත් විසුරුවා දන්දෙන තෙක් තමන් දී ගත නුහුණුවා සේ බුදුන්ගෙන් බණ අසා නිවන් දැක මසුරු සිත් තුනී වන තෙක් තණ අගලා තෙල් බිඳුවක් විතරක් අනුන්ට නොදුන් විරූ ය. එසේ හෙයින් ”අදින්න පුබ්බකය”යන නම අර්ථාන්විය. 
ගැමිජන සමාජයේ වුවද අනුනට යමක් දීමට ඉතා ලෝබකමක් දක්වන මිනිස්සු අනනත්වත් ජීවත් වෙති. තණකොළ ගසෙහි අග තෙල් බිඳුවක් ගත් විට එයට හසුවන්නේ ඉතා සුළු ප‍්‍රමාණයක් පමණි. එවැනි ඉතාම මසුරු මිනිසුන් දිවිගෙවන සමාජයක ඔවුන්ට ඇතිවන ඛේදනීය ඉරණම මෙම කතා පුවත තෙක් ගෙනහැර දක්වයි. අදින්න පුබ්බක යැයි සාමාන්‍ය ගමේ ජීවත්වන ඉතා ලෝබ පුද්ගලයන්ට පවා ගම්වල නම් පටබැඳේ . ඒ අනුව මට්ටකුණ්ඩලී කතා වස්තුවේ එන අදින්න පුබ්බක බමුණාට ස්වකීය පුතු මරණින් ගලවාගත නොහැකි විය.
ථුල්ලතිස්ස තෙරුණ් වහන්සේගේ කතාවස්තුවේ අපූර්ව භාෂා භාවිතයක් දැකගත හැකි ය. 
උදා ඃ ”වැඩිමහලූ කළ මහණව රූක්ෂ ප‍්‍රතිපත්ති නැමති රළු පරළුදෙය හැර බුදුන්ට උපන් මියඅරු ආහාරද්‍රව්‍ය සේ වළඳා පිළිවෙළින් සීන් වුවත් මසින් ලෙයින් මත්ව ඉසත් බඩත් මහත් හෙයින් ථුල්ලතිස්ස තෙරුණ් වහන්සේ යැයි ප‍්‍රසිද්ධව...........”
ථුල්ලතිස්ස තෙරුණ්ගේ ශාසනික ලැදියාව උන්වහන්සේගේ රූප ශෝභාව අසන ශ‍්‍රාවකයාට බෞද්ධයන් වශයෙන් කල්ගත කිරීමේ දී ලද ආනිශංසයන් මැනවින් පැහැදිලි වෙයි. වැඩි මහලූ කල්හි මහණ වී රූපවත්ව සසුන්ගත වූයේ රූපයෙන් උඩගු වූ නිසාවෙනි. අඩුවයසින් ශාසනික ගත වූ උන්වහන්සේ පින් මහිමයෙන් මෙලොව පරලොව දෙලොවම සුගතිය කරා ළගාවිය හැකිවිය.
උපමා භාවිතය
සද්ධර්මරත්නාවලිය නිවන්පුර වදනා සැදැහැතියන්ට විශ‍්‍රාම ශාලාවක් බඳුය. ගැමිජන හදවත ගැහෙන රාවය පවා ප‍්‍රතිරාවය කර ගැනීමේ නුවණකින් හෙබි ධර්මසේන හිිමියන් සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේ දී එය ගැමිජනයාට හැගෙන දැනෙන සාහිත්‍ය නිර්මාණයක් බවට පත් කිරීමට උපමා භාවිතයෙන් කතාවස්තු රචනා කළේය.
ඒ අනුව
භාෂාන්තරයෙන් හා ග‍්‍රන්ථාන්තරයෙන් ගැනුණු උපමා කතා භාවිතා කර තිබුණි.
ස්වභාවික වස්තු, සත්ව ලෝකය සම්බන්ධ උපමාවන් භාවිතා කර තිබුණි.
හාස්‍ය රසය හා සම්බන්ධ  උපමා භාවිතා කර තිබුණි.
රාශිකෘත උපමා භාවිතා කර තිබුණි.

භාෂාන්තරයෙන් හා ග‍්‍රන්ථාන්තරයෙන් ගැනුනු උපමා ලෙසින් ස්වභාවික පරිසරයේ නෙත දැකිය හැකි වස්තූන් පෙළක් භාවිතා කර තිබුණි. අවුව වැස්ස සමග, ඉරහඳ තාරුකා සමග ගහකොළ සමග බද්ධ වූ ජීවිතයක් සහිත ගැමිජන සමාජයක ජීවත් විය. කතාවස්තු උගත් පාඨකයාට මෙන්ම නූගත් සමාජයට එක ලෙස ගෝචර වන පරිදි පෙළ තබා ඇත. එදා දඹදෙණි යුගයේ බෞද්ධ ජන සමාජය තුළ දිවිගෙවූ බහුතරයක් පිරිස ගමයි ,පන්සලයි, වැවයි,දා ගැබයි, නිල් කෙතයි, කහ සිවුරයි යන සංකල්ප වලින් සුපෝෂිතව ජීවත් වී ඇත. පන්සල සෑම සුබ කටයුත්තකටම නිමිත්තක් ලෙස සලකා ඇත. ඒ අනුව එවැනි උපමා ලෙස,

කුම්භඝෝෂක සිටාණන්ගේ වස්තුව දැක්විය හැකි ය. කුම්භඝෝෂක හතළිස් කෝටියක ධනස්කන්ධයකට උරුමකම් කියූව ද එම ධනය භූක්ති විඳීමට තරම් පින් කළ තැනැත්තෙක් නොවීය. අනුනට බැලමෙහෙ කොට දිවිගෙවූ කුම්භඝෝෂකගේ පින් මහිමය ක‍්‍රමයෙන් ඔහු නොසිතූ ලෙසින් උදා වන්නට විය. ඔහුගේ මව පියාගේ අභාවයෙන් පසු කාගෙත් හව් හරණක් නොමැති වු ඔහුට රැුකියාව ලෙසින් කරන්නට සිදු වූයේ උදෑසන කාලයේ මිනිසුන් අවදි කිරීමයි. ඔහුගේ  කටහඩ අසන බ‍්‍රහ්මදත්ත රජු ඔහුගේ කටහඬේ ස්වභාවයෙන් ඔහු ධනවතෙකු ලෙස හඳුනා ගනී. ඒ අනුව කුම්භඝෝෂකගේ වස්තුව අනාවරණය කර ගැනීමට චර පුරුෂයන් ලවා කුම්භඝෝෂක අල්වාගෙන ඒමට පිටත් කර හරී. නමුත් ඔහුට උදව් කිරීමට රජ මැදුරේ පුර ස්ති‍්‍රයක් කටයුතු කරයි. ඒ අනුව ඝෝෂක ස්වකීය බෑණා කර ගැනීමට සුදුසු බව සිතන පුර ස්ති‍්‍රය ඊට උපක‍්‍රමයක් ලෙස යොදා ගන්නේ තම තරුණ වියේ පසුවන දියණියයි. ඝෝෂකට නවාතැන් ලබාදෙන පුරස්ති‍්‍රය කුම්භඝෝෂක හා දියණිය අතර සම්බන්ධතාවක් ඇත කරයි. ඒසනුව ඝෝෂක නිදන හැඳෙහි හැඳපත් කැපීම ඉන් පළමු පියවර විය. ඒ අනුව දින කිහිපයකට පසු ඇඳපත් කඩාගෙන ඝෝෂක ඇදවැටුණි. ඒ අනුව උපක‍්‍රමශීලි වූ පුරස්ති‍්‍රය ඝෝෂකට නිදා ගැනීමට ඉඩක් ලබා දෙන්නේ ස්වකීය දියණියගේ ඇඳයි. ඒ සඳහා ඝෝෂකගෙන් කැමැත්ත විමසූ අවස්ථාවේ ඝෝෂක එයට ලබාදුන් පිළිතුර අනුව එය පුරස්ත‍්‍රියගේ අදහස සඵල වන පිළිතුරකි. 
”හූරු තුඩට සීවැල් තුඩ තැබුවා සේ......”
තමන් බලාපොරොත්තු වූ දෙයම සිද්ධ වූ බවයි. ඒ අනුව කෘෂිකාර්මික ජීවිතයක් සමග දිවිගෙවන ජනයාට ඌරු තු හා නගුල් තුඩ හොඳින් හුරුපුරුදුය. ඌරාගේ තුළ ඉතා තියුණු පොළොව හෑරීමට සමත් උපකරණයකි. නගුල් තුඩ ද එවැන්නකි. ඒ අනුව මේ දෙක හොඳින් එක් වූ කල්හි කළ හැකි වැඩ ප‍්‍රමාණය සාර්ථකභාවයෙන් ඉතා ඉහළ ය. ඒ අනුව ඌරු තුඩට නගුල් තුඩ තැබූ සෙයින් පුරස්ත‍්‍රියගේ යෝජනාවට ඝෝෂක කැමති වීම සමාන කර ඇත. එවැනි උපමා රාශියක් යෙ¥ අවස්ථා සද්ධර්මරත්නාවලියේ බොහෝ වෙයි.
”කමලපත‍්‍රයක ජලබිඳුවක් සේ”
”ගංගෝදකය හා යමුණෝදකය එක් වූවා සේ”
”මේඝ මුඛයෙන් නිකුත් පුන්සඳ මඬලක් මෙන්”
”භස්ම ප‍්‍රච්ඡුන්න ජාතවේදකයක් සෙ”්

යනුවෙන් උපමා පෙළක් භාවිතා කර ඇත. නෙළුම් පතක රැඳි දියබිඳුවක් සේ යන අපමාව අනුව නෙළුම්පතක ජල බිඳුවක් තැබූ කල්හි එය එක් ස්ථානයක නොපවතී. එය සිඳී ගිය කල්හි තිබූ තැනක්වත් සොයාගත නොහැකිය. ජීවිතය ද අනිත්‍ය ස්වභාවයක් ගන්නා බව මින් කියවෙන අදහසයි.
එමෙන් ම පුතිගත්තතිස්ස තෙරුණ් වහන්සේගේ කතා වස්තුවේ එන ජීවිතයේ අනිත්‍යතාව මෙනෙහි කිරීමට ස්වභාවික වස්තු පෙළක් උපමා කොට තිබේ. ඒ අනුව,
”තවද ජීවිතය විදුලියක් මෙන් චිරස්ථිතික නොවන නියාව ද අවුරුදු අසංඛ්‍යයක් මෙන් සිටියත් දිය බුබුලක් මෙන් බිඳෙන සුළු නියාව ද , තණග පිණි බිඳුවක් මෙන් ආයුක්ෂයෙහි සිඳෙන නියාව ද දියෙහි ඇඳි ඉරක් මෙන් මැකෙන නියාව ද දක්වන්නමෝ පූතිගත්තතිස්ස තෙරුණ්ගේ වස්තුව දක්වමු”.
 
                 යනුවෙන් දක්වා ඇත. ඒ අනුව ජීවිතයේ අනිත්‍ය බව විදුලියකට උපමා කර තිබේ. විදුලිය වූ කලී ක්ෂිණිකව ඇති වී ක්ෂණිකව මහා ආලෝකයක් නිකුත් කර ඉන් පසුව දීර්ඝ කාලීනව අඳුරකට ඉඩලබාදෙන දෙයකි. ජීවිතයත් එබඳු ය. දිය බුබුළ වූ කලී සියුම් පටලයකින් සහ රික්තකයකින් සෑදුණු හිස් අවකාශයක් සහිත දෙයකි. කොයි මොහොතේ හෝ පිපිරීමකට ලක් වේද යන්න කිව නොහැකි ය. ජීවිතයත්්් එසේ ය. තණ පතක ඇති පිණිබඳුව කොතරම් දීපත්මත්ව ආලෝකය අභිමුව පැතිය ද සූර්ය රශ්මිය පතිති වූ විගස ක්ෂණයෙන් සිඳී යන්නකි. ජීවිතය ද එබඳු අනිත්‍ය දෙයයකි යන බව අවබෝධ කරවීමට ධර්මසේන හිමියෝ ස්වභාවික පරිසරයේ ඇති වස්තූන් පෙළක්් උපමාගෙන තිබේ.
ස්වභාවික ලෝකයේ හා එන උපමා භාවිතා කරමින් සද්ධර්මරත්නාවලිය ගැමිජන ජීවිතයට සමීප කරවීමට සමත් වී ඇත. සද්ධර්මරත්නාවලිය පුරාවට ම උපමා පිරුළු දහස් ගණනක් ඇත. ඒ සියල්ල යොදා ගත්තේ කතා වස්තු ගැමි ජනයාට වඩා හොඳින් අවබෝධ කරවීම පිණිසයි.
උදා ඃ ”කන්නට එන බල්ලයන්ට අසුර ගසා නාද කරවන්නා සේ”
”බතින් සාද විඳ සිටියවුන්ට බුලත් දෙවා සාදය නිමවන්නා සේ”
”සමහර විෂයන් බානා කළ දෂ්ඨ කළ සර්පයා ලවා විෂ උරවන්නා සේ”
”කළුවර දෙපොයේ සඳ පරිද්දෙන්”
”දෙනුන් හැඳින වස්සන් ගන්නා සේ ”
”හාවුන්ගෙන් අං ලැබ්බ නොහැක්කා සේ”
”මී වික්කාට නගුටු නැත්තා සේ”
”අධෝමුඛ නැකතින් ශ‍්‍රාස්ත‍්‍රයට පටන් ගත්තා සේ”

යනාදී වූ මෙම උපමා සියල්ල සාමාන්‍ය ගැමි ජනයාට මැනවින් අවබෝධ කරගත හැකි උපමා ය. ස්වභාවික පරිසරයේ නෙත දකින පණ ඇති පණ නැති වස්තු සියල්ල උපමා කොටගෙන තිබේ.

හාස්‍ය රසයට සම්බන්ධ උපමා

         සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේ දී හාස්‍ය රසය සම්බන්ධ උපමා භාවිතා කර ඇත.
”ආඳා යවා වල්පත අත ගත්තා සේ”
”හªනන මග යෙමින් සිට මං විචාරන්නා සේ”
”කට මහත් කෙනෙකුන් තොසක් බත් පිළි එකවිටම ගල පියන්නා සේ”
”සිංහ හම් පෙරවූ කැණහිලූන්ට සිංහ තරම් නැත්තා සේ”
යනාදී වූ හාස්‍ය මුසු උපමා භාවිතයන් ධර්මසේන හිමියන් සිදුකර ඇත. කුම්භඝෝෂක සිටාණන්ගේ වස්තුවේ පුරස්ත‍්‍රිය තම බෑණා කර ගැනීමට උපක‍්‍රම යොදමින් කි‍්‍රයා කළ ආකාරය එනම් තම දියණිය හා පේ‍්‍රම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ඝෝෂකට අවස්ථාව උදාකර දීම ”ආඳා යන්නට දී වල්ගයෙන් ඇල්ලිමක් බඳුය යන්න ” සඳහන් උපමාවක් භාවිතා කර තිබුණි. කිසාගෝතමී කතාවස්තුවේ කිසාගෝතමීය ස්වකීය දරුවා මිය ගිය කළ ඇය උමතුවෙන් මෙන් දරුවා සුවකර ගැනීමට පාරක් පාරක් පාසා ඇවිද ගිය ආකාරය එනම් බුදුරදුන්ගෙන් ස්වකීය දරුවා සුවකර ගැනීමට පාරක් පාරක් පාසා ඇවිද ගිය ආකාරය එනම් බුදුහිමියන්ගෙන් ස්වකීය දරුවා සුවකර ගැනීමට බුදුහිමි සොයා ඇවිද යාම ”මග යෙමින් සිට මග විචාරන්නා සේය.”යනුවෙන් දක්වා ඇත. එනම් පාරේ යන ගමන් පාර කොහිදැයි විමසනාවාක් මෙනි. නිවන් මග අවබෝධකරගැනිමට ඇයට අවසානයේ පින උදාවිය.
සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේ දී ධර්මසේන හිමියන් රාශිකෘත උපමා භාවිතා කර ඇත. ඒ අනුව

”සිංහයෙකුට ළං වූ ඇතක්හු මෙන්”
”ගුරුලෙකුට ළං වූ ණයෙකු මෙන් ”
”පිඹුරෙකුට ළංවූ සිවලෙකු මෙන් ද ණයෙකුට ළං වූ මසුවෙකු මෙන් ද ”
”දිවියෙකුට ළංවූ මුවෙකු මෙන් ද”
”බළලෙකු ළං වූ මීයෙකු මෙන් ද”
”මැදිරියකට හසු වූ පක්ෂියෙකු මෙන් ද”


යනුවෙන් රාශිකෘත උපමා පෙළක් සද්ධර්මරත්නාවලියේ කතා වස්තු රචනා කිරීමේ දී යොදා ගෙන තිබුණි. මිනිස් චෛසිකයේ ස්වභාවය සංඥාර්ථවත්ව අවබෝධ කරවීමට මින් උත්සාහ ගෙන තිබේ.
සද්ධර්මරත්නාවලියේ නන්ද තෙරුණ්ගේ කතා වස්තුව තුළින් මිනිස් සිතේ චෛතසික ස්වභාවය සංඥාර්ථවේදි ව ඉදිරිපත් කිරීමට සමත් වී ඇත. ඒ අනුව මනස අකුසලයෙන් වළකමින් කුසලයෙහි පිහිටුවා ගැනීමේ හැකියාව පවතින්නේ ද පුද්ගලයා සතුවම ය. භාවනාමය කාර්යයේ දී සිත පිහිටුවා ගැනීමේ වැදගත්කම නන්ද තෙරුණ්ගේ කතා වස්තුවේ දක්වන්නේ මේ ආකාරයෙනි. 
”යම් සේ සෝලි නොදැක්මෙන් නපුරුකොට සොයාලූ ගෙය වැඩ නැතිකොට මුත් නැති විටම නොතෙමේ ද එපරිද්දෙන් සමථ විදර්ශනා භාවනා ,සෙවිළි නොදන්නා හෙයින් තදංග විමුක්ති නැමති එක් තරම් සෙවිල්ලකින් සොයා ලූ ගෙය කෙලෙස් නැමති එක්තරම් වැස්සක් විටත් තෙමී මුත නොහරණේ ය. යම් සේ සෙවිළි දන්නවුන් යහපත් කොට සොයා ලූ ගෙය එක්තරා වැස්සකින් තබා මහත් වැස්සකිනුත් නොතෙමේ ද එපරිද්දෙන් ද්විප‍්‍රකාර භාවනා නැමති තර සෙවිල්ලෙන් සොයා ලූ සිත් නැමති ගෙය සසර මහමුහද පුපුරණ තරම් වූ කෙළෙස් මග වැසිවටත් නොතෙමෙයි.......”
යනුවෙන් දක්වා ඇත. ඒ අනුව භාෂාමය සංඥා සංකේත මගින් මිනිස් සිත එක්තැන්හි තබාගෙන භාවනාමය පුන්‍ය කි‍්‍රයාවන්හි නිරතවීමේ වැදගත්කම ගෙනහැර දැක්වීමට සමත් වී ඇත.
ධර්මෝපදේශයන්ගේ භාෂාව කතා කිරීමට උචිත බවට පමුණුවන ලද්දේ  ධර්මසේන හිමියන් ය. උන්වහන්සේගේ කතාවහර ද, ගැමි දිවිය ද ඇසුරෙන් ධර්මසේන හිමියෝ වෙනස් කළහ. පාළි කතාවක් උපදේශ කරගත් මුත් පාළි ක‍්‍රම අතහැර දෙසට බසට රැුසට එකලෙස ගෝචර වන ආකාරයට සද්ධර්රත්නාවලියේ කතා වස්තු පෙළ තබා ඇත. ධර්මසේන හිමියන් දඹදෙණි යුගයේ  ජීවත් වූ සංඝ පීතෘවරයාණන් වහන්සේ ලෙසින් හඳුන්වා දිය හැකි ය. කතාවස්තු සියල්ල රත්නයක් හෙවත් මැනික් මාලයක් ලෙස සලකා එය රන්හුයක අමුණා මැණික් මාලයක් සේ ගොතා ඇත.
ධර්මසේන හිමි ලෞකික ජීිවිතය හිත සුව පිිණිස රචනා කරන ලද්දක් නොව ලෝකෝත්තර දියුණුව පිණිස සද්ධර්මරත්නාවලිය රචනා කර ඇත. සද්ධර්මරත්නාවලියේ එන පාලි ක‍්‍රමය අතහැර අර්ථ පමණක් ගෙන කළා වූ ප‍්‍රබන්ධයකි.
සද්ධර්මරත්නාවලියේ සංඥාර්ථවේදී ලක්ෂණයන් බාහුල්‍යයක් කැටිකොට ගත් ධර්ම ග‍්‍රන්ථයකි. පටාචාරා වස්තුව ආරම්භය සනිටුහන් කළේ,

”තවද මාළුවා ලිය වැලදී ගස් කොළ වල වැඩි යුරුවක් නැත්්තා සේ මසුරු සිත් ඇත්තවුන්ට පිනට නොගැළපෙන නියාව හගවනු පිණිස මච්ඡුරිය කෝසිය සිටාණන්ගේ වස්තුව දක්වමු......”යනුවෙන් කතාව ආරම්භයේ දීම කතාවේ සාරය ගෙනහැර දක්වා ඇත.
 

                            සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේ දී එහි සංඥාර්ථවේදී ලක්ෂණ හගවනු පිණිස සරල බස් වහරක් උපයෝගී කරගෙන ඇත. ධර්මසේන හිමියන්ගේ එකම පරමාර්ථය වී තිබුණේ ද කුසල්කාමී සාමන්‍ය ජනයා යහපතෙහි යෙදවීම නම් ඔවුන්ට වැටහෙන බසින් බණ කීම අවශ්‍ය වන බැවිනි. 
මහාචාර්ය ආනන්ද කුලකුලසූරිය මහතා ”සිංහල සාහිත්‍ය” නම් වූ ස්වකීය  ග‍්‍රන්ථයේ දී මෙසේ සඳහන් කර ඇත. ”ධර්මසේන හිමියෝ ගොවි පෙවෙතකින් කල් ගෙවූ පොදු ජනතාව හා සමග සතුටු වෙති. ඔවුන් හා පිළිසඳර දොඩවන නියාවෙන් කතා කියති”
සැබවින්ම ධර්මසේන හිමියන් බණ කීවේ සරල භාෂාවකිනි. ධර්මසේන හිමියන් යනු ගැමිදිවිය පොත පතින් කියවා හෝ අන් අයගෙන් අසා හෝ අරහෙන් එකතු කරගත් තැනැත්තෙකු නොවේ. ගම නැමති සරසවියෙන් අත්දැකීම් නැමති උපාධිය ඇත්තෙකි. තමන් ලැබූ අත්දැකීම් වාග් සිතුවම් ලෙසින් පත්ඉරු මත චිත‍්‍රණය කළ හිමිනමකි. ”

            මච්ඡරිය කෝසිය සිටාණන්ගේ වස්තුවෙහි දී උපහාසය රසය මතුවන පරිදි එය රචනා කර තිබුණි. මච්ඡුරිය කෝසිය සිටුතුමාගේ මසුරුකම ඉන් මැනවින් ඉදිරිපත් කරයි. සිටුවරයා විශාල පිරිසකට කැවුම් පිසීමට අකමැති විය. ”එසේ වී නම් මුඹගේ දරුවන් පමණකට සෑහෙන ලෙස පිසම්දැයි ඇසූ විට දියණියට සිටුවරයා සෙසු වුවමනා දවස් නැති හෙයින් අදම වුවමනාද ?උන්හැම ඇයිදැයි ඇසුවේ ය. එවිට සිටු දියණිය මුඹටත් මටත් අපදෙන්නා පමණකටය යටත් යමක් පිරිසයින් සහල් එක්නැළි මනාවක් විචර වන හෙයින් එපමණක් විසුවෝ දැයි” ඇසුවාය.......


                   ඒ අනුව උපහාසය හා හාස්‍ය මුසු භාෂා භාවිතයක් සිදුකර ඇත. ශබ්ද රසය හා අර්ථ රසය මීකිරට පැණි එකතුවීම සමානව උපයෝගීි කරගෙන ඇත.
පටාචාරා වහන්දෑගේ වස්තුවේ ඒබ ව මැනවින් පැහැදිලි වෙයි. 
”ඒ වෙලාවේ පිට පිට හෙළා විදුලිය ගසන්නා සේ විළිත් පහරන්නට වන. ආස ගුගුරන්නා සේ හඬවන්නට වන. වැසි බෝවා ප‍්‍රසව දුකත් බෝ විය.”
ඒ අනුව ස්වභාවික පරිසරයේ වන සංසිද්ධි පෙළක් භාෂා සංකේත ලෙස දැක්වීමෙන් පටාචාරා වතට දැනුණු ප‍්‍රසව වේදනාවේ තරම කියා පායි. 


            උපමා පිරුළු උචිත පරිදි උපයෝගි කරගෙන සද්ධර්මරත්නාවලිය රචනා කර ඇත. පටාචාරා වහන්දෑගේ වස්තුව මගින් දක්වන ආකාරයට,
”තණ අගලා තෙල් බිඳුවක් විතරකුත් අනුන්ට දීලත් නමු සිතට දුක් බලවත් හෙයිනුත් නොබලා දුප්පතුන් සේම තමන් ප‍්‍රයෝජන විඳිනට නැති හෙයිනුත් දුප්පත්කම සමීපයට වඩා මහත” සිංහල සාහිත්‍යයෙහි උපමා සක්විති යැයි විරුදාවලි ලැබීමට ධර්මසේන  හිමියන් සුදුසු යැයි කියයි. 

”පටාචාරා වහන්දෑගේ වස්තුවේ භාවිත උපමා පිරුළු අතර” 
”කිළුටු අදහසක් සේම කිළුටු රෙද්දක් කොයින්දෝයි සොයා හැඳගෙන”
”මිඩියන්ගෙන් ලෙසට ලිහිල් කොට හිසකේ බැඳගෙන”
”රෙදිකඩකින් වසාලූ මැණිකක් පරිද්දෙන් කැඳවාගෙන”
”පිට පිට හෙළා විදුලිය ගසන්නා සේ විලිත් පහරන්නට වන”
”මුවාත් තබන යකඩෙක සළකඩ ඉගිලෙන්නා සේ ශෝකදු ඃ ඛ්‍ය තුනී විය.”
”ගින්නට දමා ලූ ලූණු මෙන් තතනමින්”  

                           යනාදී වශයෙන් දෛනික ජීවිතය හා සමීප උපමා පිරුළු භාවිතා කර ඇත. සංඥා සංකේත ලෙස ඒවා භාවිතා කරමින් කතාවස්තු රසවත් කිරීමට කටයුතු කර ඇත.
සද්ධර්මරත්නාවලියේ භාෂා විලාසය  අපුරු ය. ප‍්‍රාණවත් ය. රස පූර්ණ ය. උන්වහන්සේගේ සෑම කතාවස්තුවක් ම සාහිත්‍ය ගුණයෙන් යුක්ත ය. උන්වහන්සේගේ ස්වාධීනත්වය නිර්මාණ ශක්තිය , ජීවිත පරිඥානය, කතා කලාව, ආදී ලක්ෂණ නිසා සද්ධර්මරත්නාවලියට එම නම මැනවින් යෝග්‍යය.
උපමා යෙදීමේ දී විශේෂ දක්ෂතා දක්වති. වෘත්තීන් පිළිබඳ හොඳ පරිචයක් ඇති අයෙකුට තම අත්දැකීම් ඔස්සේ නිර්මාණය කරන ලද උපමා ලෙසින් කතා වස්තුව රචනා කර ඇත.

”ගොයම් කළමනාවක තබා පියා කල් පසුකරන ගොයමක් සේ ”
”අත්දුටු බෙහෙත් තිබිය දී ඔබ්බේ බෙහෙත් විචාරන්නා සේ ”
”බොල් විනා විකක් නැති කළ මෙන්”
”වෙළදාම් නොකළ කලට වස්තු නැත්තා සේ”
”යකඩ මල්ලට ගුල්ලො ගැසුවේ නම් හාල් මල්ලට ගුල්ලො ගැසීම කිම.”

ගැමියා පැහැදිලිව අත්දුටු දේ උපමා ලෙස භාවිතා කර ඇත. සද්ධර්මරත්නාවලියේ සංඥාර්ථවේදී ලක්ෂණ ඉස්මතු වන්නේ ධර්මසේන හිමියන් භාෂාව හසුරුවා ඇති ආකාරයෙනි. ඒ අනුව භාෂාව හා සංකේත යොදා ගෙන සද්ධර්මරත්නාවලියේ කතා වස්තු පෙළ තබා ඇත.

”ගැමියා පැහැදිලිව අත්දුටු දේ උපමා ලෙස භාවිතා කර ඇත.”
”ආඳා යවා වල්පත ගත්තා සේ”
”ඇඹුලකින් තඹ මළකඩ නැතිවන්නා සේ”
”තමාගේ ඡුායාව තමා අතහැර නොයන්නා සේ”
”නියං සමයේ අඬන අහසක් මෙන්”
”තමා ලා ලූ ගිනි තමාට නිවන්ට බැරියා සේ”


               යනාදී උපමා භාවිතා කර ඇත. ධර්මසේන හිමි මෙවැනි උපමා යොදා ගත්තේ ගැමි ජනතාවට පහසුවෙන් කතා වස්තුව අවබෝධ කරදීම පිණිසයි. එසේ නොවුණේ නම් කතා වස්තුව සංකීර්ණ වීම නිසා ඒ කෙරෙහි ගැමි ජනයා රඳවා තබා ගැනීමට නොහැකි ය. 
චරිත නිරූපණයේ දී සංඥාර්ථවේදී ලක්ෂණ මනාව ඉස්මතු කරවයි. ප‍්‍රබල චරිතයක් ඉස්මතු කිරීමට අවශ්‍ය වූ කලක කෙටිවැකි භාවිතා කිරීමක් සිදුවෙයි. ඒ අනුව ”කුණ්ඩලකේසී ”කතා වස්තුවේ චරිත නිරූපණය ඉතා අගනේ ය.
”සිටු දියණියෝත් එවක් පටන් ඔහු සිත් ගන්ට සව්භරණ ලා සැරසීගෙන තුමූ ම  ඕ හට බත් මාළු පිසති. කවති. පොවති. නාවති. හිස සෝධවති. සොරාණෝ ද දවස් කිහිපයකින් කළ උපකාරත් නොසළකා ,........”
ආදී වශයෙන් කෙටිවාක්‍ය භාවිතා කර ඇත. ඒ අනුව භාෂාමය සංඥා කතාවස්තුවට අපූර්ව රසයක් ගෙන දීමට සමත් වී ඇත. සද්ධර්රත්නාවලිය රචනා කිරීමේ දී ධර්මසේන හිමියන් සෑම චරිතයක් ම මානව දයාව පිරි චරිතයක් කිරීමට රචනා කර තිබේ.  ඕනෑම චරිතයකට ආණ ප‍්‍රත්‍ය එකතු කිරීමට නොපැකිළව කි‍්‍රයා කර ඇත. කුණ්ඩලකේසීයගේ සැමියා වන  සොරාට ආමන්ත‍්‍රණය කරන ධර්මසේන හිමියන්,


          ”සොරාණෝ කීප දවසකින් කළ උපකාරත් නොසලකා.......... ආදි වශයෙන් දක්වා ඇත. මට්ටකුණ්ඩලී කතාවස්තුවෙහි මසුරු වූ මච්ඡුරිය කෝසිය හෙවත් අදින්න පුබ්බක හට ”අදින්න පුබ්බක බමුණානෝ යනුවෙන් ආමන්ත‍්‍රණය කරයි. ගෞරවාර්ථවත් ප‍්‍රත්‍ය බොහෝ අවස්ථාවල උස් පහත් භේදයක් නැතිව මානව දයාවෙන් යුත්තව යොදන ලද්දකි.
සද්ධර්මරත්නාවලිය රචනා කළේ උගත් පාඨක ජන සමාජයක් වෙනුවෙන් නොව නූගත් ශ‍්‍රාවක ජන සමාජයක් වෙනුවෙනි. දවල් කාලයේ කෙතේ නියරේ දහදිය වගුරුවන ගැමියාට හුරුවන්නේ මහා බුද්ධිගෝචර උපමාරූපක නොව ජීවිතයේ තමාට ඇසගැටෙන විඥානයේ රඳා පවතින ,ගැමිජන විඥානයට අදාළ උපමා රූපය. ඒ අනුව ගැමියනට අවබෝධකරගත හැකි බස් වහරක් හා සංඥා සංකේත ඇසුරින් කතා වස්තු පෙළ තබා ඇත.

කතාවක රසවත්භාවය ඉස්මතු වන්නේ ලේඛකයාගේ ප‍්‍රතිභාපූර්ණත්වය හඳුනා ගැනීමටත් එක ලෙස වැදගත් වන්නේ අවස්ථා සිද්ධි හා චරිත නිරූණයයි. සද්ධර්මරත්නාවලියේ මුඛ්‍ය පරමාර්ථය වූයේ නූගත් ගැමිජනයා නිවන් මාර්ගයේ යැවීමයි. අකුරු නූගත් ගැමියා ධර්මාවබෝධය ලබනුයේ ශ‍්‍රවණය කිරීමෙනි. පටාචාරා කතා පුවතේ පටාචාරා චරිතය ආකාර කිහිපයකින් කතාව පුරා බලපෑම් කරයි. 16 හැවිරිදි යෞවනියකගේ පටන් රහත් මෙහෙණියක දක්වා දිවෙන කතාව තුළ වරෙක සිටු දුවණියකි. පෙම්වතියකි. මෙහෙණියකි. රහත් ඵල ලැබූ තෙරණියකි. චරිත ලක්ෂණ නිරූපණය කිරීමට ධර්මසේන හිමියන් දැක්් වූ දක්ෂතාව මැනවින් පැහැදිලි වෙයි.

                      ”නිවන් පුර වදනා සැදැැහැතියන්ට විශ‍්‍රාම ශාලාවයි ”යනුවෙන් සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේ දී ධර්මසේන හිමියෝ සඳහන් කර ඇත. ඒ අනුව සද්ධර්මරත්නාවලිය ජාතියේ පිනට පහළ වූ ධර්ම පුස්තකයකි. ගැමිජනතාවගේ මෙලොව පරලොව සුබසිද්ධිය උදා කිරීමට මෙමගින් උන්වහන්සේ මූලිකවම අපේක්ෂා කර තිබුණි. ඒ අනුව පාළි අටුවා ග‍්‍රන්ථයක් වූ ධම්මපදයේ ගාථාවන්ට අටුවාවන් සැපයීමට රචනා කළ පාලිධම්මපදට්ඨ කතාව ගුරූපදේශ කරගත් මුත් පාළි ක‍්‍රම අතහැර දෙස බසට රැුසට එක ලෙස ගෝචර වන ආකාරයෙන් දේශීය වූ හුරුවකින් සම්පාදනය කර ඇත. සද්ධර්මරත්නාවලියේ ආරම්භක කතා වස්තුවේ සිට අවසාන කතා වස්තුව දක්වා දැකගත හැක්කේ සංඥාර්ථවේදී ලක්ෂණයන් ය. සෘජුව යමක් ප‍්‍රකාශ කරනවාට වඩා සංඥා සංකේත ආශ‍්‍රයෙන් යමක් ප‍්‍රකාශ කිරීම එහි ඇති රසවත් භාවය රඳා පැවතීමට හේතු වෙයි. සද්ධර්මරත්නාවලියේ සංඥාර්ථවේදී ලක්ෂණයන් බාහුල්‍යයක් අන්තර්ගත වීම නිසා එය සාර්ථක ධර්ම කෘතියක් බවට පත් වී ඇත.

Sandamali Hettiarachchi

6 comments:

  1. වඩාත් වැදගත් සහ ප්‍රයෝජනවත් ලිපියකි.අතිසාර්ථක ලිපියක් ලෙස කීම මැනවි

    ReplyDelete
  2. Thawath meweni nirmana kirimata shakthiya lebewa.

    ReplyDelete
  3. Well done .good job.That is amazing.

    ReplyDelete
  4. කුන්ඩලකේසී කතා වස්තුවේ විචාරය ලියන්නකෝ

    ReplyDelete
  5. ගොඩක් වැදගත්

    ReplyDelete